
අතීත චෙස් මාස්ටර් වරු (Past Chess Masters) - 2
8 June 2020
by global chess team
පෝල් චාල්ස් මෝර්ෆි (Paul Charles Morphy) (ජූනි 22, 1837 - ජූලි 10, 1884) ඇමරිකානු චෙස් ක්‍රීඩකයෙකි. ඔහු ඔහුගේ යුගයේ ශ්‍රේෂ්තම චෙස් ක්‍රීඩකයා සහ නිල නොවන ලෝක චෙස් ශූරයා ලෙස සැලකේ. සුවිශේෂී ගුණාංග සහ හැකියාවන්ගෙන් හෙබි තරුණ චෙස් ක්‍රීඩකයෙකු වූ ඔහු "The Pride and Sorrow of Chess" ලෙස හැඳින්වූයේ ඔහුට දක්ෂ චෙස් වෘත්තියකයෙක් වීමට හැකිව තිබූ නමුත් තරුණ වියේදීම ක්‍රීඩාවෙන් විශ්‍රාම ගත් බැවිනි. බොබී ෆිෂර් (Bobby Fischer) ඔහු මෙතෙක් සිටි ශ්‍රේෂ්ඨතම ක්‍රීඩකයන් දස දෙනා අතරට ශ්‍රේණිගත කළ අතර ඔහු විස්තර කළේ “මෙතෙක් ජීවත් වූ වඩාත්ම නිවැරදි ක්‍රීඩකයා” ලෙසයි.
ළමා අවධිය
මෝර්ෆි නිව් ඕර්ලියන්ස් හි උපත ලැබුවේ ධනවත් හා කීර්තිමත් පවුලක ය. ඔහුගේ පියා, ඇලොන්සෝ මයිකල් මෝර්ෆි, නීතිඥවරයෙකි, මෝර්ෆිගේ මව, ලුයිස් තෙරෙස් ෆෙලිසිට් තෙල්සයිඩ් ලෙ කාර්පන්ටියර්, ප්‍රංශයේ ප්‍රසිද්ධ ක්‍රෙයෝල් පවුලේ සංගීතයට දක්ෂ දුවකි. මෝර්ෆි හැදී වැඩුණේ තම නිවසේ ඉරිදා දිනයන්හි පවත්වන පවුලේ සහ හිතමිතුරන්ගේ සාද වලදී චෙස් සහ සංගීතය සාමාන්‍ය අංගයන් වූ වටපිටාවකය.
ඔහුගේ මාමා වන අර්නස්ට් මෝර්ෆි පවසන පරිදි කිසිවෙකු විධිමත් ලෙස චෙස් ක්‍රීඩා කරන ආකාරය මෝර්ෆිට ඉගැන්වූයේ නැත. ඒ වෙනුවට, කුඩා දරුවෙකු වූ මෝර්ෆි චෙස් ක්‍රීඩාව ඉගෙන ගත්තේ අන් අය සෙල්ලම් කිරීම නැරඹීමෙන් තනිවමය. දිනක් තම මාමා සහ පියා අතර පැවති දීර්ඝ තරගයක් නිහඩව නරඹමින් සිටි කුඩා මෝර්ෆි ඔවුන් එය ජයපරාජයෙන් තොරව අවසන් කරනවා දැක තම මාමා තරගය ජයග්‍රහණය කළ යුතුව තිබූ බව පවසමින් ඔවුන් පුදුමයට පත් කළේය. ඔහුගේ පියා සහ මාමා මෝර්ෆිට චෙස් උපක්‍රමයන් හෝ අඩුතරමින් චෙස් ඉත්තන් අදින ආකාරය ගැන හෝ අවබෝධයක් තිබූ බව දැන සිටියේ නැත. ඉත්තන් නැවතත් සකස් කර මාමාට අහිමි වූ ජයග්‍රහණය පෙන්නුම් කරමින් මෝර්ෆි තම ප්‍රකාශය ඔප්පු කළ විට ඔවුන් ඊටත් වඩා පුදුමයට පත් වූහ.
ළමා අවධියේ ලැබූ ජයග්‍රහණ
එම සිද්ධියෙන් පසුව, මෝර්ෆිගේ පවුලේ අය ඔහුව චෙස් ක්‍රීඩාවට දක්ෂයෙකු ලෙස හඳුනාගත් අතර පවුලේ හමුවීම් වලදී සහ ඔවුන්ගේ අසල්වැසියන් සමඟ චෙස් ක්‍රීඩා කිරීමට ඔහුව දිරිමත් කළහ. වයස අවුරුදු නවය වන විට ඔහු නිව් ඕර්ලියන්ස් හි හොඳම ක්‍රීඩකයෙකු ලෙස නමක් දිනාගැනීමට සමත් විය. 1846 දී ජෙනරාල් වින්ෆීල්ඩ් ස්කොට් නිව් ඕර්ලියන්ස් නගරයට පැමිණි අතර, එම නගරයේ දක්ශ ක්‍රීඩකයෙකු සමඟ චෙස් ක්‍රීඩා කිරීමට අවශ්‍ය බව ඔහුගේ සත්කාරකයන්ට දැන්වීය . චෙස් යනු ස්කොට්ගේ කලාතුරකින් විනෝදය සඳහා කළ ක්‍රීඩාවක් වූ නමුත් ඔහු ක්‍රීඩාවට ප්‍රිය කළ අතර ඔහු දක්ෂ ක්‍රීඩකයෙකු ලෙස සැලකීය. රාත්‍රී ආහාරයෙන් පසු චෙස් ක්‍රීඩා කිරීමට ස්කොට්ගේ ප්‍රතිවාදියා ගෙන එන ලදි: ඔහු කුඩා, නව හැවිරිදි මෝර්ෆි විය. ස්කොට් ඔහුව විහිළුවට ලක් කර ඇතැයි සිතමින් මුලදී කෝපයට පත් වූ නමුත් මෙම ළමයාගේ දක්ෂතාවය ගැන ඔවුන් සහතික වීමෙන් පසුව ඔහු සෙල්ලම් කිරීමට එකඟ විය. මෝර්ෆි ඔහුව එක් වරක් නොව දෙවරක්ම පහසුවෙන් පරාජය කළේය.
1850 දී, මෝර්ෆිට වයස අවුරුදු දොළහක් වන විට, ප්‍රබල හංගේරියානු වෘත්තීය චෙස් මාස්ටර් ජොහාන් ලෙවෙන්තල් (Johann Löwenthal) නිව් ඕර්ලියන්ස් වෙත පැමිණියේය. මෝර්ෆිගේ පියා ලුවෙන්තාල්ට මෝර්ෆි සමග තරගයකට ආරාධනා කළේය චෙස් ක්‍රීඩාවෙන් බොහෝ දක්ෂ තරුණ තරුණියන්ව පරාජය කරතිබූ ලුවෙන්තාල් මෙම සුහද තරගය කාලය නාස්තියක් ලෙස සැලකූ නමුත් මෝර්ෆිගේ පියාට කරන අනුග්‍රහයක් ලෙස මෙම යෝජනාව පිළිගත්තේය.
පළමු තරඟයේ දොළොස්වැනි ඇදීම වන විට, තමා ක්‍රීඩා කරන්නේ දක්ෂ ක්‍රීඩකයකු සමඟ බව ලෙවෙන්තල් තේරුම් ගත්තේය. මෝර්ෆි හොඳ ඇදීමක් අදින සෑම අවස්ථාවකම ලුවෙන්තාල්ගේ ඇහිබැමි ඉස්සීම "විකට" ස්වභාවයක් ගත් ආකාරය අර්නස්ට් මෝර්ෆි පසුව විස්තර කර ඇත. ලෝවෙන්තාල් නිව් ඕර්ලියන්ස් හි රැඳී සිටි කාලය තුළ පෝල් මෝර්ෆි සමඟ තරඟ තුනක් ක්‍රීඩා කළ අතර ඉන් තරඟ දෙකක් පරාජයවී එක් තරඟයක් ජයපරාජයෙන් තොරව අවසන්වී ඇත (වෙනත් මූලාශ්‍රයකට අනුව, තරග තුනම පරාජයවී ඇත)
පාසල් අධ්‍යාපනය සහ පළමු ඇමරිකානු චෙස් සම්මේලන තරගාවලිය
1850 න් පසු මෝර්ෆි වැඩි කාලයක් චෙස් ක්‍රීඩා කළේ නැත. 1854 දී ඇලබාමා හි (Spring Hill College in Mobile) විද්‍යාලයෙන් උපාධිය ලබා ගත්තේය. ඉන්පසු ඔහු ගණිතය හා දර්ශනය හැදෑරීය. ඔහුට 1855 මැයි මාසයේදී ඉහළම ගෞරව සහිතව A.M. උපාධිය පිරිනමන ලදී.
ඔහු ලුසියානා විශ්ව විද්‍යාලයේ (දැන් ටියුලේන් විශ්ව විද්‍යාලයේ) නීතිය හැදෑරූ අතර එල්.එල්.බී. උපාධිය 1857 අප්‍රියෙල් 7 වන දින ඔහුට හිමිවිය. මෝර්ෆි සිය අධ්‍යයන කාලය තුළ සම්පූර්ණ ලුසියානා සිවිල් සංග්‍රහය කටපාඩම් කර ඇති බව කියනු ලැබේ
නීතිඥවරයෙකු ලෙස වෘත්තිය ආරම්භ කිරීමට තවම නීත්‍යානුකූල වයසක නොසිටි මෝර්ෆිට නිදහස් කාලයක් ලැබුණි. 1857 ඔක්තෝබර් 6 සිට නොවැම්බර් 10 දක්වා නිව්යෝක් නුවර පැවැත්වීමට නියමිත පළමු ඇමරිකානු චෙස් සම්මේලනයට සහභාගී වීමට ඔහුට ආරාධනයක් ලැබුණි. ඔහු මුලදී එය ප්‍රතික්ෂේප කළ නමුත් මාමාගේ ඉල්ලීම පරිදි අවසානයේ ක්‍රීඩා කිරීමට තීරණය කළේය. ජේම්ස් තොම්සන් (James Thompson), ඇලෙක්සැන්ඩර් බියුෆෝර්ට් මීක් (Alexander Beaufort Meek) සහ ප්‍රබල ජර්මානු මාස්ටර් වරු දෙදෙනෙකු වන තියඩෝර් ලිච්ටෙන්හයින් (Theodor Lichtenhein) සහ ලුවී පෝල්සන් (Louis Paulsen) පිළිවෙළින් අවසන් පූර්ව වටයේ සහ අවසන් වටයේ දී ඔහු පරාජය කළේය. මෝර්ෆි එක්සත් ජනපදයේ චෙස් ශූරයා ලෙස පැසසුම් ලැබූ නමුත් ඔහුගේ හදිසි කීර්තිය ඔහුට කිසිදු බලපෑමක් නොකළ බව පෙනෙන්නට තිබුණි. Chess Monthly සඟරාවේ 1857 දෙසැම්බර් කලාපයට අනුව, "ඔහුගේ අව්‍යාජ ආකල්පය, ඔහුගේ බලපෑමට ලක් නොවූ නිහතමානිකම සහ මෘදු ආචාරශීලීභාවය ඔහු දන්නා හඳුනන සියල්ලන්ගේ ගෞරවාදරයට පත්වීමට හේතුවූ බවයි."
යුරෝපා සංචාරය
මේ දක්වා, මෝර්ෆි යුරෝපයේ එතරම් ප්‍රසිද්ධියක් උසුලපු ක්‍රීඩකයෙක් නොවීය. එක්සත් ජනපදය තුළ ඔහු චෙස් ක්‍රීඩාවේ ආධිපත්‍යය දැරූවද, හොඳම චෙස් ක්‍රීඩකයින් ජීවත් වූ යුරෝපයට සාපේක්ෂව ඔහුගේ විරුද්ධවාදීන්ගේ ක්‍රීඩා විලාශයේ ගුණාත්මකභාවය අඩුය. යුරෝපීය ක්‍රීඩකයන්ගේ මතය වූයේ තරුණ හා සාපේක්ෂව නොදන්නා ක්‍රීඩකයෙකු සමඟ ක්‍රීඩා කිරීම සඳහා එක්සත් ජනපදයට යාම අනවශ්‍ය බවයි.
1858 දී මෝර්ෆි යුරෝපීය ශූර හොවාර්ඩ් ස්ටවුන්ටන් (Howard Staunton) සමඟ ක්‍රීඩා කිරීමට යුරෝපයට ගියේය. මෝර්ෆි යුරෝපයේ සිටි සෑම දක්ෂ ක්‍රීඩකයෙකු සමඟම පාහේ ක්‍රීඩා කළේය. ඔහු එම සෑම තරගයක්ම සාමාන්‍යයෙන් පහසුවෙන් ජය ගත්තේය. ස්ටවුන්ටන් සමඟ තරග කිරීමට ඔහුට කිසි විටෙකත් අවස්ථාවක් නොලැබුණු නමුත් මෝර්ෆි යුරෝපයේ බොහෝ දෙනා විසින් ලොව හොඳම ක්‍රීඩකයා ලෙස පිළිගැනීමකට ලක්විය.
එංගලන්තයේ සංචාරයෙන් පසුව නව දක්ශ චෙස් ක්‍රීඩකයින් සොයමින් මෝර්ෆි ප්‍රංශයට ගියේය. ප්‍රංශයේ චෙස් කේන්ද්‍රස්ථානය වන පැරීසියේ කැෆේ ඩි ලා රීජන්ස් (Café de la Régence in Paris) හිදී ඔහු ප්‍රංශයේ පදිංචි වෘත්තීය චෙස් ක්‍රීඩකයෙකු වූ ඩැනියෙල් හාර්විට්ට (Daniel Harrwitz) එරෙහිව වට කිහිපයකින් සමන්විත තරගයක් ක්‍රීඩා කළේය. එහිදී මෝර්ෆි විශිෂ්ට ලෙස ඔහුව පරාජය කරන ලදී.
පැරීසියේදී, මෝර්ෆි ඉන්ෆ්ලුවෙන්සා රෝගයෙන් පීඩා වින්දේය. මෙම අසනීප තත්වය හේතුවෙන් අන් කෙනෙකුගේ අධාරයක් නොමැතිව තනිවම සිටගැනීමටවත් ඔහුට නොහැකි විය. මේ අතර සංචාරක් සඳහා පැරීසියට ජර්මානු මාස්ටර් ඇඩොල්ෆ් ඇන්ඩර්සන්ට (Adolf Anderssen) පැමිණියේය. ඔහු යුරෝපයේ ප්‍රමුඛතම ක්‍රීඩකයා ලෙස බොහෝ දෙනා සලකනු ලැබීය. මේ බව දැනගත් මෝර්ෆි ඇන්ඩර්සන්ට එරෙහිව වට කිහිපයකින් සමන්විත තරගයක් කිරීමට තමන්ට උවමනාබව තම සත්කාරකයන්ට දැඩිසේ අවධාරනය කළේය.
අසනීපව සිටියද, මෝර්ෆි තරගය පහසුවෙන් ජය ගත්තේය. මෝර්ෆි වට 7 ක් ජයගනිමින්, වට 2 ක් පරාජය වෙමින්, සහ වට 2 ක් ජයපරාජයෙන් තොරව අවසන් කරමින් සමස්ථ තරගයෙන් පහසු ජයක් ලැබීය. ඔහුගේ පරාජය ගැන විමසූ විට ඇන්ඩර්සන් කියා සිටියේ ඔහු පුහුණුවීම් වලින් තොරව සිටි බවයි. නමුත් ඔහු ඒ සමගම කියා සිටියේ මෝර්ෆි තමාට වඩා දක්ෂ ක්‍රීඩකු බවත් මෝර්ෆිගේ ජයග්‍රහණය ඉතා සාධාරණ එකක් බවත්ය. ඇන්ඩර්සන්ගේ මතය වූයේ මෝර්ෆි යනු එතෙක් චෙස් ක්‍රීඩා කළ දක්ෂතම ක්‍රීඩකයා බවයි. තවදුරටත් ඔහු කියා සිටියේ මෝර්ෆි සුප්‍රසිද්ධ ප්‍රංශ චෙස් ශූර ලා බෝර්ඩොනිස්ට (La Bourdonnais) වඩා දක්ෂයෙක් බවයි.
එංගලන්තයේදී සහ ප්‍රංශයේදී මෝර්ෆි එකවර තරග කරුවන් කිහිපදෙනෙක් සමග කරන ප්‍රදර්ශනාත්මක තරග (simultaneous exhibitions) ගණනාවකට සහභාගි විය. එමෙන්ම මෙම ප්‍රදර්ශනාත්මක තරග වලට ඇස් ආවරණය කරගෙන කරන චෙස් ක්‍රීඩා (blindfold chess) තරගද ඇතුලත් වූ අතර එක් අවස්ථාවක ඔහු ක්‍රීඩකයන් 8 දෙනෙකු සමඟ එකවර (simultaneous) ක්‍රීඩාකර එම තරග 8 ම ජය ලැබීය. මෝර්ෆි පැරීසියේ ඉතාලි ඔපෙරා හවුස් හි ඔපෙරාවක් නැරඹීමට ගිය අවස්ථාවේ එහි විවේක කාලය අතරතුර බ්‍රන්ස්වික් ආදිපාදවරයාට (Duke of Brunswick) සහ කවුන්ට් ඉසෝවර්ඩ්ට (Count Isouard) එරෙහිව කළ තරගය අදටත් ප්‍රසිද්ධය.
ලෝක චෙස් ශූරයා ලෙස පැසසුමට ලක්වීම
වයස අවුරුදු 21 ක් වන විට මෝර්ෆි දක්ෂ ක්‍රීඩකයෙක් ලෙස තරමක් ප්‍රසිද්ධයට පත්වී සිටියේය. එක් සැන්දෑවක ඔහු පැරීසියේ නවාතැන් ගෙන සිටි හෝටල් කාමරයේ මිතුරෙකු සමඟ කතාබහක යෙදී සිටිනවිට අනපේක්ෂිත අමුත්තෙක් පැමිණියේය. එම අමුත්තා "මම ගැලිට්සින් කුමරුය; මම මෝර්ෆි මහතා දැකීමට කැමතිය" යනුවෙන් පැවසුවේය. එවිට මෝර්ෆි ඒ තමන් බව ආගන්තුකයාට පැවසුවේය. පුදුමයට පත් කුමාරයා පවසා සිටියේ තමන් සිතා සිටි මෝර්ෆි මෙතරම් තරුණයෙකු විය නොහැකි බවය. තමන් මුලින්ම මෝර්ෆි ගැන දැනගත්තේ බර්ලිනයේ ප්‍රකාශයට පත්වූ චෙස් පත්තරයක ලිපියකින් බවත් එතැන් පටන් මුණගැසීමට බලාපොරොත්තුවෙන් සිටි බවත්‍ය. පසුව ඔහු මෝර්ෆිට පැවසුවේ රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග් වෙත ආයුතු බවයි. මන්දයත්, Imperial Palace හි චෙස් සමාජය ඔහුව පිළිගැනීමට උද්යෝගයෙන් සිටිනි බැවින්ය.
යුරෝපයේ, මෝර්ෆි ලෝක චෙස් ශූරයා ලෙස සාමාන්‍යයෙන් සලකනු ලැබීය. 1859 අප්‍රියෙල් 4 වන දින පැරීසියේදී ඔහුට ගෞරවය පිණිස පැවති භෝජන සංග්‍රහයකදී ඉයුජින්-ලුවී ලෙක්ස්නේ විසින් කැටයම් කළ මෝර්ෆිගේ මූර්තියක හිසට ඉහලින් ලෝරල් මල් වඩමක් තබා "මෙතෙක් ජීවත් වූ හොඳම චෙස් ක්‍රීඩකයා" ලෙස එක්රැස්ව සිටි පිරිස විසින් ප්‍රකාශයට පත් කරන ලදී.
1859 වසන්තයේදී ඔහු ලන්ඩනයට ආපසු පැමිණි අවස්ථාවේ පැවති එවැනිම රැස්වීමකදී මෝර්ෆි නැවතත් "ලෝකයේ ශූරයා" ලෙස ප්‍රකාශයට පත් කරන ලදී.
මෝර්ෆි නැවත ඇමරිකාවට පැමිණි පසු, සිය නිවෙස බලා යන අතරතුර සංචාරය කළ සෑම ප්‍රධාන නගරවලදිද සම්මානයට පත්විය. 1859 මැයි 29 වන දින නිව් යෝර්ක් නගරයේ විශ්ව විද්‍යාලයේ දී, ජනාධිපති මාටින් වැන් බුරෙන්ගේ පුත් ජෝන් වැන් බුරන් "පෝල් මෝර්ෆි, ලෝක චෙස් ශූරයා " ලෙස ප්‍රකාශයට පත් කළේය.
චෙස් ක්‍රීඩාවෙන් සමුගැනීම
ජයග්‍රාහී ලෙස එක්සත් ජනපදයට ආපසු පැමිණි මෝර්ෆි නිව් ඕර්ලියන්ස් වෙත ආපසු යන අතරවාරයේ චෙස් ක්‍රීඩා කරන ප්‍රධාන නගරවල සංචාරය කළේය. 1859 වන විට නිව් ඕර්ලියන්ස් වෙත ආපසු පැමිණි මෝර්ෆි, තම නීති වෘත්තිය ආරම්භ කිරීම සඳහා චෙස් ක්‍රීඩාවෙන් විශ්‍රාම යන බව ප්‍රකාශ කළේය. කෙසේ වෙතත්, මෝර්ෆිට කිසි විටෙකත් නීතිඥවරයෙක් ලෙස වෘත්තිය සාර්ථක කර ගැනීමට නොහැකි වූ අතර අවසානයේදී ඔහුගේ පවුලේ ධනයේ උපකාරයෙන් උදාසීන ජීවිතයක් ගත කළේය. ඔහුගේ චෙස් රසිකයන්ගේ ආයාචනා නොතැකූ මෝර්ෆි කිසි විටෙකත් නැවත ක්‍රීඩාවට නොපැමිණි අතර 1884 දී වයස අවුරුදු 47 දී හදිසි ආබාධයකින් මිය ගියේය.
ක්‍රීඩා විලාශය
මෝර්ෆි ප්‍රධාන වශයෙන් මතකයේ රැදෙනුයේ රොමැන්ටික් චෙස් පාසලේ අදහස් සහ න්‍යායයන් විශ්වාස කළ සහ ප්‍රවර්ධනය කළ ප්‍රමුඛ පුද්ගලයෙක් ලෙසයි. එම න්‍යායයන් වලට අනුව වැඩි අවධානය 1.e4 ඇදීමෙන් පටන් ගැනීම (1.e4 openings) සහ උපක්රමශීලීව ක්‍රීඩා කිරීම (tactical play) කෙරෙහි යොමු කළ අතර එහිදී විරුද්ධවාදීන් බොහෝ විට ඇදීම් 30 ට අඩු ගණනකින් චෙක්මේට් කළේය.
ඒ කාලයේ සුපුරුදු චෙස් විවෘත කිරීම් වලට මෝර්ෆිද කැමත්තැක් දැක්විය. විශේෂයෙන් සුදු ලෙස ක්‍රීඩා කරන විට King's Gambit සහ Giuoco Piano යන විවෘත කිරීම්ද කළු ලෙස ක්‍රීඩා කරන විට Dutch Defense විවෘත කිරීමද වැඩි වශයෙන් යොදා ගත්තේය.
ඔහු සුදු ලෙස ක්‍රීඩා කරනවිට Ruy Lopez (1.e4 e5 2.Nf3 Nc6 3.Bb5 a6) විවෘත කිරීම් භාවිතා කළේ කලාතුරකිනි. නමුත් Ruy Lopez හි එන Morphy Defense යනු ඔහුගේ නමින් නම් කර ඇති ජනප්‍රිය විවෘත කිරීමකි.
මෝර්ෆි ක්‍රීඩා කළ තරග 59 න් ඔහු 42 ක් ජයගෙන, 9 ක් ජයපරාජයෙන් තොරව, සහ 8 ක් පරාජය වී ඇත. මෙම තරගවලට අයත්වන්නේ 1857 නිව් යෝර්ක් තරඟාවලිය සහ අනෙකුත් ක්‍රීඩකයන් සමඟ කළ තරගය. මෙයට මෝර්ෆි සිය පවුලේ අය සහ හිතවතුන් සමඟ කළ තරගද ප්‍රදර්ශනාත්මක තරගද ඇතුළත් නොවේ.